- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර් ලිමේන්තු මන්ත්‍රී- මධුර විතානගේ
• අපි දන්නවා දැන් දැන් පොහොට්ටුව වෙනුවෙන් එදා වගේ පෙනී ඉන්න අය අඩුවෙලා. කතා කරන්නවත් අකැමැතියි. හැබැයි තවම මධුර ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා?
අනිවාර්යයෙන් පෙනී ඉන්නවා. සීයට සීයක් පෙනී ඉන්නවා.
• ගොඩක් අය මඟ හරිද්දී මධුර පෙනී ඉන්නේ ඇයි? මොකක්ද හේතුව?
දේශපාලනය හරියට නොකර, රැල්ලට දේශපාලනය කරන්න ආපු අය ඉන්නකොට එහෙම වෙනවා. දේශපාලනයේ අභියෝග ගත්ත අයට හොඳම උදාහරණය තමයි වර්තමාන ජනාධිපතිතුමත්, හිටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත්. ඒක නිසා පොදුජන පෙරමුණ කියන්නේ අපේ පක්ෂයක් නෙමේ මහජනයාගේ පක්ෂයක්. ඒකයි කෙටිකාලයක් තුළ ලොකු පෙරළියක් ඇති කළේ. හැබැයි යම් යම් අඩුපාඩු නිසා ගැටලු ඇති වුණා. එහෙම වුණා කියලා පක්ෂය වෙනුවෙන් මුහුණදෙන්න බැරිනම් වැඩක් නෑ.
• දැන් වැඩිපුරම ඉන්නේ පොහොට්ටුවට විරුද්ධව ඉන්න පොහොට්ටුවේ අය?
මම කියන්නේ එහෙම අය ඉන්නවා නම් වහාම පක්ෂයෙන් අයින්වෙලා එයාලගේ මතවාදය වෙනුවෙන් ස්වාධීනව පෙනී ඉන්න ඕන. බොරු කණ්ඩායම් හදාගෙන පොහොට්ටුවේ ඉන්නත් ඕන, පොහොට්ටුවේ නෑ කියන්නත් ඕන වගේ දෙබිඩි වැඩ කරන්න එපා. ඒ නිසා පක්ෂයේ අවුලක් නෙමේ මේ තියෙන්නේ, ඒ අයගේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩකරනවා නම් එහෙම වෙන්න විදිහක් නෑ.
• එහෙම ඔබ කිව්වට ඒ අය ඒ තීරණ අරන් තියෙන්නේ හෘද සාක්ෂියට අනුවනේ. ඒ අය කියන්නේ පොහොට්ටුවේ ඇතැම් අය කරන කියන දේවල් එක්ක ඒ අයට ඉන්න බැරි නිසයි ස්වාධීන වෙන්නේ කියලා. එහෙනම් ඒක පක්ෂයේ වරදක් නේද?
ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ප්‍රශ්න තියෙනවා. අපිටත් තියෙනවා. ලංකාවේ ප්‍රශ්න නැති දේශපාලන ව්‍යාපාර නෑ කොහෙවත්.
• එහෙනම් ඔය යන්නේ කඩාගෙන ඇයි?
මෙහෙමනේ, ඇමැතිකම් දුන්නොත් යන්නේ නැති කට්ටියක් ඉන්නවා. රාජ්‍ය ඇමැතිකම් දුන්නොත් නවතින කට්ටියක් ඉන්නවා. හොඳ ඇමැතිකම් නැතුව අඩු ඇමැතිකම් දෙන්න හැදුවත් යන අය ඉන්නවනේ. සමහර අය හොඳම ඇමැතිකම් ලැබුණ නිසාත් ඉන්නවා.
• ඒ කියන්නේ තනතුරු තානාන්තර හම්බෙනවා නම් ඕන කෙනෙක් යන්නේ නැතුව ඉන්නවනේ?
පැහැදිලිවම. ඒ ගැන තර්කයක් නෑනේ. ඒක මඩ ගහන්නවත්, අපහසුතාවයට පත් කරන්නවත් කිව්ව දෙයක් නෙමෙයි. ඒත් වෙන්නේ ඒක. ඒක කියන්න එපැයි. මේ දේවල් නිසානේ තරුණයෝ පාරට බැහැලා නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න කෑ ගැහුවේ. ඒ නිසා ස්වාධීන වෙලා ඒක සාධාරණය කරන්න එක එක කතා කිව්වට වැඩක් නෑ. මොකද මිනිස්සුන්ට ජෝක්ස් වැඩක්ම නෑ. අදාලම නෑ.
• ඔබලා බලයට ආපු ආණ්ඩුවත් ඉවත් වුණා. ජනාධිපතිත් ඉවත් වුණා. එහෙම වුණාම ඒ මිනිස්සුන්ට යන්න එන්න තැනක් නැති නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙන්න ඇති?
එවැනි අරාජික තත්ත්වයක් බිහිවුණා කියන එක අපි පිළිගන්නවා. ඒ වෙලාවේ සමහර ඇමැතිවරු කිව්වා තනතුරුවලින් ඉවත් වෙනවා කියලා. ඒගොල්ලොම ආයේ ගිහිල්ලා ඇමැති තනතුරු ගත්තා. ඒ නිසා තවදුරටත් හොරු අවශ්‍ය නෑ. අපිට ඕන වැඩ කරන්න පුළුවන් අවංක පිරිසක්. එතකොටයි පොහොට්ටුව ඉස්සරහට යන්නේ.
• කොතැනද පොහොට්ටුවට වැරදුණේ?
ජනාධිපතිතුමා යම් යම් නිවැරදි තීන්දු ගත්තා. ඒත් මොහොතේ රටේ සහ ලෝකයේ ඇතිවෙලා තිබුණු ගෝලීය දේශපාලන තත්ත්වයත් එක්ක ඒ තීරණ යම් ගැටලුකාරී තත්ත්වවලට මුහුණ පෑවා. සමහර දේවල් තියෙනවා අපේ වැරදීම නිසා වෙච්ච දේවල්. ඒ අඩුපාඩු අපි දන්නවා. ඒවා අපි හදාගන්න ඕන.
• අරගලය සම්බන්ධයෙන් ඔබ ඉන්නේ නිවැරදිය කියන මතයක වගේ නේද?
ඔව්. පැහැදිලිවම. අරගලය සම්බන්ධයෙන් මගේ ලොකු පැහැදීමක් තියෙනවා. ගෙවල් ගිනි තියපු, අවස්ථාවාදී වැඩ කරපු, ත්‍රස්තවාදී වැඩ කරපු, අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන බලයට එන්න හදපු අය ගැන නෙමෙයි මේ කියන්නේ. ආර් ථික පීඩනය දරා ගන්න බැරුව පාරට බැහැලා මිනිස්සු කිව්වේ මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණු දේශපාලනය රටට අනවශ්‍යයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත් ජනතාවගේ පක්ෂය හැටියටත් 2/3 ආණ්ඩුවක් හැටියටත් අපිට ඒක වටහාගන්න බැරිවුණ නිසා තමා වැරදුණේ. අවශ්‍ය වෙලාවේදී අපි ඒ වෙනුවෙන් ක්‍රියා කළේ නෑ.
• ඔබ තරුණ කාලයේ ඉඳලා දේශපාලනය කළේ. ඔබට වැටහෙන්න ඕන අරගලකරුවන්ගේ පණිවිඩය. ඇයි ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ආණ්ඩුව සමඟ යාවෙන්න පාලමක් වෙන්න බැරිවුණේ?
අරගලයෙන් මතුවුණ ඇතැම් කාරණා සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා එක්ක නිරන්තරව දීර් ඝව සාකච්ඡා කළා. ඒ සාකච්ඡා නිසා එතුමා සාධනීය පියවරවල් කිහිපයක් ගත්තා. විශේෂයෙන් ඇතැම් ඇමැතිවරුන්ට තනතුරු නොදෙන්නත්, තරුණ ඇමැතිවරු පත් කරන්නත්, පෝස්ටර් කටවුට් දේශපාලනයට එතුමා තිත තිබ්බා. වැඩ විතරක් කරන තැනට පත්වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්.
• එහෙම වුණාට ගැටුම් තිබුණනේ සමහර දේවල් කරද්දී?
ඔව්. සමහර සාම්ප්‍රදායික මැති ඇමැතිවරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. ඒ නිසා ගැටුම් ඇති වෙන්න ගත්තා.
• ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් වැරදෙන්න ළඟ ඉන්න මැති ඇමැතිවරු හේතු වුණාද ඒ කියන්නේ?
ඇත්තම කිව්වොත් සමහර මැති ඇමැතිවරු තමන්ගේ කාර්ය හරිහැටි ඉෂ්ට කළේ නෑ. ඒක මම එදත් කිව්වා. අදත් කියනවා. හෙටත් කියනවා. සමහර මැති ඇමැතිවරු කළේ තමන්ගේ විෂයට අදාල ඒවා නෙමෙයි විෂයට අදාල නැති ඒවා. අනෙක් අයගේ හැමදේම කතාකරනවා තමන්ගේ දේ කරලා තිබුණේ නෑ. මේ මම කියන්නේ සමහර අය. ඒ අය වැඩ නොකර වටේ පැන පැන හිටියා.
• අරගලය දරුණු වෙන්නත් අරගලය ගැන තැකීමක් කරපු ඔය උඩ කිව්ව මැති ඇමැතිවරු හේතුවෙන්න ඇති නේද?
නෑ. අරගලය පටන් ගත්තේ ආර් ථික පීඩනයත් එක්ක වෙනත් දේශපාලන සංස්කෘතියක් ඉල්ලලා. ඒත් කවදාවත් බලයට එන්න බැරි ජවිපෙ, පෙරටුගාමී සහ සජබයේ සමහර අය මේක එයාලාගේ වාසියට ගත්තා. ජනතාව උසි ගැන්නුවා.
• එහෙම කියන්න මොනවද තියෙන සාක්ෂි?
අත් අඩංගුවට ගත්ත අහිංසක තරුණයෝ කියනවා. ඒ අය සූක්ෂමව හසුවුණා කියන එක පිළිගන්නවා. ඔබට මතකනේ කොවිඩ් අර්බුදය තරමක් සමනය වුණ ගමන් ඔය කිව්ව පක්ෂ ජනතාව කුලප්පු කරලා පාරට ගෙනාවා. ඒ වගේ ඇතැම් මාධ්‍යයත් කුලප්පු කළා. ඒත් අපි පැහැදිලි සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕන. නැත්තන් රබර් බෝලේ වගේ වෙන්නේ. කොච්චර යට යැව්වත් උඩ එනවා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් තම ගාණක් නෑ.
• අපි දන්නවා පොහොට්ටුවේ මතවාදයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන රනිල් වික්‍රමසිංහ මහත්තයාව තමයි ඔබලා ජනාධිපති හැටියට තෝරගත්තේ. ඒ ඇයි? ඩලස් අලහප්පෙරුම කියන්නේ පොහොට්ටුවේ කෙනෙක්?
රටේ තිබුණ කලබලකාරී තත්ත්වයත් ආර් ථික තත්ත්වයත් ලෝක භූ දේශපාලනයත් එක්ක ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් සුදුසුම කෙනා හැටියට තමා පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගන්නේ. ඩලස් ඇමැතිතුමා කිව්වා කීපවතාවක්ම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වුණාම නිවැරදි තිරණයක් කියලා. පැවති තත්ත්වයත් එක්ක හොඳම තීරණය හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව තෝරාගත්තේ.
• දැන් කැබිනට් මණ්ඩලයත් රාජ්‍ය ඇමැතිවරුත් පත්කරලා ඉවරයි. පහුගිය ආණ්ඩුව එක්ක ගන්නකොට මේ පත්කිරීම් සාධනීයයි කියලා හිතනවද?
මෙහෙමයි අපි බලමු තව ටිකක්. විශාල දේශපාලන පෙරළියක් එක්ක තමයි මේ ඇමැති මණ්ඩලය පත්වුණේ. ඒ නිසා අපි තව ටිකක් බලමු. තවම උදේ වැඩියි.
• ඇයි ඒ කැපවීමට සහාය දෙන්න මධුරට තනතුරක් නොදුන්නේ?
මෙහෙමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට උපරිමය කරගෙන යනවා. හැමෝටම ඇමැතිකම් දෙන්න බෑනේ. සුදුසු අයට තනතුරු දුන්නා. අපි ඒ අයට සහාය දෙනවා.
• කවද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පාර් ලිමේන්තු ගේන්නේ?
එතුමාට ඕන වෙලාවක පාර් ලිමේන්තු එන්න අයිතිය තියෙනවා. එහෙම ආවොත් අපි ගෞරවයෙන් පිළිගන්නවා.
• ඇත්තද එතුමා අගමැති කරන්න කතාවක් යනවා කියන්නේ?
පාර් ලිමේන්තුවේ බහුතරය කැමති වුණොත් එතුමාව අගමැති කරන්න කියලා කිසි ප්‍රශ්නයකුත් නෑ.
• ඒ වුණාට ලොකු රාජපක්ෂ විරෝධයක් නිසා නේද ඒ හැමෝටම බලය දාලා යන්න වුණේ?
ඒක සමස්ත මතයද? කොටසක මතයද කියලා බලන්න වෙන්නේ ඉදිරියේ ඡන්දයකදී. ඒ නිසා මට විතරක් ඒක ඔව් කියන්න බෑ. මොකද මේ විරෝධය හදන්නේ පක්ෂ. ඒ වගේම කියන්න ඕන රාජපක්ෂ කියන නමට පොඩි බයකුත් තියෙනවා.
• මෙතනින් පස්සේ පොහොට්ටුවයි අලියයි එකටද ඡන්දවලට ඉදිරිපත් වෙන්නේ?
තවම ඒ ගැන සාකච්ඡාවක් කරල නෑ
• පොහොට්ටුව දාලා ගිය අයට ආයේ ඉඩක් නැද්ද?
නෑ... එහෙම නෑ. ඕන කෙනෙක්ට විවෘතයි, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, යන්න පුළුවන් එන්න පුළුවන්. බොහොම විවෘත පක්ෂයක් මේක.
• මධුරලා මේ ලෑස්ති වෙන්නේ ඊළඟට නාමල් රාජපක්ෂ බලයට ගේන්න නේද?
එහෙම නෑ... පක්ෂයේ මතයයි, ජනතාවගේ මතයයි එක්ක තමයි ඒක තීරණය කරන්නේ. එතුමාවත් තවම හිතලා නැතුව ඇති.
• ඇත්තටම මේ දේශපාලනය කලකිරීමක් නැද්ද?
තද කලකිරීමක් තියෙනවා. මේක වෙනස් කරන්න ඕන. මේක වෙනස් කළේ නැත්නම් ඊළඟට මිනිස්සු පාරට බහින්නේ වෙන විදිහට. තවම මේ පාර් ලිමේන්තුවේ කාටවත් ගණනක් නෑ. මේ ළඟදී මන්දපෝෂණය ගැන සංවාදයක් තිබ්බා. කතාකළේ වැල්වටාරම්. මේ කලාපයේ රටවල් එක්ක බලද්දී අපි කොහෙද ඉන්නේ?
I ගයාන් ගාල්ලගේ